Thursday 18th of June 2026

English Tamil
Advertiesment


කොටි රාලහාමි මහින්දද..? මෛත්‍රී කුමාරිකාවද..?


2018-11-24 14873

හිට්ලර් බෑ  කියපු දේ..!

එස්.බී. ලා යන්නෙත් ඒ පාරේද..!

(උපුල් ජෝෂප් ප්‍රනාන්දු)

"ජනාධිපති හින්ඩන්බර්ග්ගේ හත් අවුරුදු සේවා කාලය තිස්එකේදී හමාර වෙනවා. ජනාධිපති පුතාගේ මාර්ගයෙන් ස්ලයිකර් ජනාධිපතිට හොදටම ලං වෙලා හිටියේ. ජනාධිපතිත් ඔහුට හොදට කන් දුන්නා. ඔහු  නැවතත් තෝරා පත්කර ගන්න ස්ලයිකර්ට අවශ්‍ය වුණා. ඔහුගේ බලාපොරොත්තුව හිට්ලර්ගේ මාර්ගයෙන් මේ ටික කරගන්න ඔහු රොම්ගේ මාර්ගයෙන් මේ ටික කර ගත්තා. මේ සාකච්ඡාවෙන් පසු හිට්ලර් මුණගැසීමට ඔහු ජනපතිත් මාත් කැමති කරවා ගත්තා"

මේ සුගතපාල ද සිල්වාගේ හිට්ලර් එල්ලා මරයි කියන පොතේ එක් පරිච්ඡේදයකි. ඒ පරිච්ඡේදය පමණක් නොව පොතම කියවන විට ඇස් දෙකෙන් පෙනෙන්නේ අද ලංකාවේ දේශපාලනයේ  සිදුවන සිදුවීම් ජාලයය.

එකල ජර්මනියේ ජනාධිපති වූ හින්ඩන්බර්ග් කියන්නේ හිට්ලර්ව පේන්න බැරි අයෙකි. ඔහු හිට්ලර් එක්ක කතා කරනවා තියා හිට්ලර්ව දකින්නවත් කැමති වුනේ නැත. ඔහු හැම විටම කිවේ හිට්ලර් කියන්නේ ජර්මනියේ විනාශය කියාය. එත් ජනාධිපතිගේ සමීපතම උපදේශකයෙකු  වූ ස්ලයිකර්ට ජනාධිපතිවරයාව දිගටම ධුරයේ තබා ගෙන චාන්සලර් පදවිය ලබා ගන්න හිට්ලර්ගේ සහය අවශ්‍ය විය. ජනාධිපතිගේ තවත් සමීපතම උපදේශකවරයෙක් වූ පැපෙන්ට  අවශ්‍ය  වුයේත් හිට්ලර්ගේ සහයෙන් ජනාධිපති නිල කාලය දික්කර දී චාන්සලර් පදවිය ලබා ගන්නටය.

හිට්ලර් දිනාගන්න  මේ දෙදෙනා අතර තරගයක් විය. හරියට මෛත්‍රීට 2020 ජනාධිපති අපේක්‍ෂකකම  ලබා ඇමති ධුර ගන්න  මහින්දගේ සහය දිනාගන්න එස්.බී.ලා සුසිල්ලා  තරගයට මහින්දගේ ගෙදර දිවුවා වගේ ද..?

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි මහින්දගේ ඩලස්,බන්දුල,අලුත්ගමගේලා වගේ හිටිය හිට්ලර්ගේ ගොබෙල්ස් සිය දින පොතෙහි මෙසේ ලියා තිබිණි.

"දැන් ඉතින් පෙරලියක් වෙන්න ඕනෑ .ළඟදීම බලයට ආ යුතුමයි.නැතිනම් මේ ජයග්‍රහණය නාස්තියක් වෙනවා."

ගොබෙල්ස්ගේ දින පොතෙහි මෙහෙම ලීවේ නිකම්ම නොවේ. ඔහු මෙය ලිවේ ප්‍රසියානු මැතිවරණයේ ප්‍රතිඵල වලින් පසුවයි.

"නායකතුමා හිට්ලර් හිටියේ විශාල මුදල් ප්‍රශ්නයක. මිනිස්සු රැස් කරන්න රැස්වීම් තියන්න පෝස්ටර් ගහන්න සල්ලි අවශ්‍යයි. තව කාලයක් අල්ලන් ඉන්න අමාරුයි. නායකතුමාට බලය අත ළඟ වගේ තිබුනට දුරයි වගේ පෙනුණා. ව්‍යාපාරිකයන් වංශාධිපතීන් මුදල්දීම එන්න එන්න අඩු කළා.."

මේ ගොබෙල්ස්ගේ දින පොතෙහි සටහන්ය. ඒ දින පොතේ වචන කියවන විට මතකයට එන්නේ මහින්ද කොළඹට ගෙන ආ අසාර්ථක ජනබල මෙහෙයුමය. ගාලුමුවදොරට ආ ජනගඟ එන්න එන්නම අඩු වුයේ සෙනග අදින්න සල්ලි නැති නිසා විය යුතුය.

"මේ වෙලාවේ හිට්ලර්ගේ පක්ෂය ඇතුලේ සල්ලි කණ්ඩායම් කිහිපයක් හිටියා. රොම් ප්‍රධාන කල්ලියට අවශ්‍ය විප්ලවයකින් රට අල්ල ගන්න. ස්ට්‍රසර්ට අවශ්‍ය වුනේ සභාගයක් ලෙස ආණ්ඩුවට එකතු වෙලා ඇමතිධුර අරගෙන බලය අල්ල ගන්න. හිට්ලර්ට අවශ්‍ය වුනේ පුර්ණ බලතල. පුර්ණ බලතල සහිත ආණ්ඩුවක් නිත්‍යානුකුලව ගන්න ඔහුට අවශ්‍ය වුණා . පක්ෂය බිඳී යෑම වලක්වන්න නම් ආණ්ඩුවට එකතු විය යුතුය කියන මතය ජය ගත්තා .."

පක්ෂ නායක රැස්වීමේ ගෝරිං සහ ගොබෙල්ස් ආණ්ඩුවට එක්වනාවට විරුද්ධ වුණා. චාන්සලර් සමග කතාකරන්න හිට්ලර් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළා.

මේ එදා හිට්ලර්ගේ පක්ෂයේ තිබුන අර්බුදය ගැන සුගතපාල ද සිල්වා සිය පොතෙහි කි කතාවය. මහින්ද අගමැති ධුරය භාරගන්න කලින් ඒකාබද්ධ විපක්ෂයේද තිබුනේ මේ වගේ අර්බුදයක්ය. කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග මෛත්‍රීගේ ආණ්ඩුවට එක් නොවිය යුතු යයි කිහ. බන්දුල, අලුත්ගමගේ, විමල්, උදය ආණ්ඩුවට එක් වෙන්න ඕනෑ  කියපු සෙට් එකය.

මේ පක්ෂයේ අර්බුදය මධ්‍යයේ හිට්ලර් ජනාධිපතිගේ උපදේශක පාපෙන් හමු විය. ඒ කිසිවෙක් නොදැන සිටි නට්සි නායකයෙකුගේ නිවසේදීය. මෙම සාකච්ඡාවට ජනාධිපති ලේකම් සහ ජනාධිපතිගේ පුතා ඔස්තාර් හින්ඩන්බර්ග් ද සහභාගී විය. ශක්තිමත් ආණ්ඩුවක් ගෙන යන්න නම් හිට්ලර්ව ආණ්ඩුවට ගත යුතු යැයි  ජනාධිපතිගේ පුතා ඔස්තාර් සාකච්ඡාව අවසන් කොට යන  අතරතුර කිවේය.

මේ කපුකම කලේ පපේන්ය. හිට්ලර්ව ආණ්ඩුවට සම්බන්ධ කරගන්න ජනධිපති තීරණය කළේය. හිට්ලර් කෙලින්ම ආණ්ඩුවේ නායකත්වය ඉල්ලා සිටියේය. ජනාධිපති අදිමදි කළේය. විදේශ රටවල් හිට්ලර්ට නායකත්වය නොදෙන ලෙසට උපදේශ්  දෙන බව ජනාධිපති කිවේය. විදේශ රටවල්වලට අවශ්‍ය ජර්මනිය ඔවුන්ගේ යකඩ සපත්තුවලට පාගා ගෙන ඉන්න යැයි  හිට්ලර් කිවේය.

ඉන්පසු සිදු වූ සිදුවීම් වැල  සුගතපාලද සිල්වා සිය පොතෙහි නාටකයක අනුසාරයෙන් ලියන්නේ මෙසේය.

"අපි හිට්ලර් ගත්තේ අපේ කොන්දේසි පිට අතපය බැඳ දාලා. ඔහු අපේ හිරකාරයෙක්."

"ඔහු චාන්සලර්"

"එත් බලය තිබුනේ උප චාන්සලර්  අතේ"  පැපෙන්  කිවේය.

"කොටින් ම  ඔබ ඔය කියන්නේ හිට්ලර් චාන්සලර් වුනත් බලය තිබුනේ උප චාන්සලර් වශයෙන් ඔබේ අතේ" නීතීඥයා ඇසුවේය.

"ඔව් ජනාධිපතිගේ විශ්වාසය දිනා  ගත්තේ  මම. ප්‍රසියාවේ සභාපති මම. ඒ අනුව ප්‍රසියාවේ පාලනයත්, පොලිසියත් මගේ අතේ. චාන්සලර් ජනාධිපති හමුවන හැම විටම උප චාන්සලර් ද සිටිය යුතු බවට රීතියක් පැනෙව්වා. කැබිනට් ඇමතිකම් එකොළහෙන් නට්සීන්ට ලැබුනේ ඇමතිකම් තුනයි. ඒවාත්  දෙවැනි පෙලේ පදවි. විදේශ සහ ආරක්ෂක ඇමතිකම් ගියේ ජන්ධිපතිගේ මිනිස්සුන්ටය. ආර්ථික, අහාර  සහ කෘෂි ඇමතිකම ජාතිවාදී පක්ෂයට, කම්කරු ඇමති සේවා මුක්ත  භට සංගමයේ නායකයා. නට්සීන්ට ලැබුනේ ස්වදේශ ඇමතිකමය. පොලිසිය ඊට අහුවෙන්නේ නැහැ. ගෝරිං  කාර්ය  නියමයක්  නැති ඇමති.

ගෝරිංට ප්‍රසියාවේ ස්වදේශ ඇමතිකමක් ලැබුණා. එත් සභාපති මා නිසා ගෝරිංට   ඕනෑ  හැටියට නටන්න ලැබුනේ නැහැ. හිට්ලර් සර්කස් කණ්ඩායමක ඝෝෂාකයා වගෙයි. කොටස් කරුවකු වශයෙන් නමක් තියනවා. පත්‍රිකාවේ ඉහළින්ම  නම වැටෙනවා. තීරණ ගන්න කැබිනට් බලයක් නෑ . එත් සිටුවර කැබිනට් මණ්ඩලයට නොතිබුණු ජනතා සහයෝගය ඔහු නිසා ආණ්ඩුවට ලැබෙනවා. "පැපෙන්  කිවේය.

නීතීඥයා හිට්ලර් දෙස බැලුවේ ඔහුගේ හදවත විනිවිද දකින්නට මෙනි. හිට්ලර්ගේ මුවග මොකක්දෝ තේරුම් ගත නොහෙන සිනාවක් නොවන සිනාවකි. පැපෙන්  දෙස බැලුවේය. ඔහුට මතක් කලේ බොඳ වී ගිය හිස් කඩදාසියකි. විනිසුරු, නෙත් එතැනින් ගෙන හිට්ලර් වෙත රැදවීය.

"ඔබ තනියම හිනා වෙනවාද නැත්නම් හිනාව වලක්වා ගන්න හදනවද..?විනිසුරු ඇසුවේය.

"කොටි රාළහාමිගේ පිටේ ගිය ගිය ලස්සන කුමාරිකාවකගේ කතාව මට මතක්  වෙනවා." හිට්ලර් කිය.

විනිසුරු විමසිල්ලෙන් විත්තිකරු දෙස බැලුවේය. කුඩා කල අම්මාගේ උකුලේදී අසා ඇති ඒ කතාව හිට්ලර්ගේ කටින්න අසනු ඔහු රිසි විය.

"කාටත් දැන ගන්න ඒ කතාව කියන්න "විනිසුරු කිවේය.

"දවසක් දා කොටි රාල හාමි කෙනකුයි ලස්සන කුමරිකාවකුයි ගමනක් ගියා. මේ ගමන යනකොට කුමාරිකාව ගියේ කොටි රාළහාමිගේ පිට උඩ. කුමාරිකාවගේ මුණේ  ලස්සන හිනාවකුත් තිබුණා. මේ දෙන්නා ගමන ගොහින් ආපසු අවා. ආපසු එනකොට ලස්සන හිනාව තිබුනේ කොටි රාළහාමිගේ මුණේ. ලස්සන කුමාරිකාව හිටියේ කොටි රාල හාමිගේ  කුස තුල" හිට්ලර් කිවේය"

මහින්දට අගමැතිකම දුන්න මෛත්‍රීට වෙන්නෙත් කොටි රාලහාමිගේ පිටේ ගිය ලස්සන කුමාරිකාවට වෙච්ච දේ දැයි දන්නේ නැත. හැබැයි චාන්සලර් පදවිය ලබාගත්  පසු හිට්ලර් තමාට බහුතරය අහිමි පාර්ලිමේන්තුව ගිනි තැබීය. ඒ සමගම හිට්ලර් දියත් කලේ මාධ්‍යවේදීන්, විනිසුරුවන්, වෘතිකයන්, සංහාරයයි. එය හැඳින්වුයේ 1934 ජුනි 30 සිට ජුලි 2 දක්වා  දියත් කළ  දිගු පිහිතල රජ කළ  රාත්‍රිය කියාය.

හිට්ලර්ව චාන්සලර් ධුරයට පත්කරන්න ජනාධිපතිට උපදෙස් දුන් ස්ලයිකර් දිගුපිහි රජ කළ  රාත්‍රියේ ඝාතනය විය. හිට්ලර් චාන්සලර් ධුරයට පත්කළ පැපෙන්  රටින් පළා ගිය අතර ඔහුගේ ඥාතීන්, හිත මිතුරන් ඒ රාත්‍රියේ ඝාතනයට ලක්විය.

-ගුරුදා විග්‍රහය-

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment